FREE TO COMMENT HERE. ANY ONE CAN COMMENT ANY THING GOOD OR BAD. NO RESTRICTIONS - U CAN COMMENT AS ANONYMOUS USER.

මා පිලි ගැනීමට ඇති සැරසිලි වලට වඩා ජනතාවගේ සැනසිල්ල මට වඩා වටිනවා - අහිමානවත් දිවුරුම් දීමෙන් පසු ජනපති ජාතිය අමතයි


සිය දෙවන ධුර කාලය නිමිත්තෙන් 19 පෙරවරුවේ කොළඹ ජනාධිපති කාර්යාල පරිශ‍්‍රයේ පැවති උත්සවයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් සිදුකළ සම්පූර්ණ කතාව මෙසේය.

මිත‍්‍රවරුනි,

ඔබ දැන් දෙපා තබා සිටින්නේ මීට පස් වසරකට පෙර අද වගේ දවසක මා වෙත භාරදුන් දේශයට වඩා ශ්‍රේෂ්ඨත්වයට පමුණුවන ලද මාතෘ භූමිය මත බව ඔබ හොඳින් දන්නවා.

රටේ පුරවැසියන් භාරදුන් වගකීම ඉතා හොඳින් ඉටුකරලා භාරදුන්නාට වඩා හොඳ රටක් ගොඩනඟලා පුරවැසියන් ඇමතීමට ලැබීම තරම් නිහතමානී සතුටක් නායකයෙකුට තවත් නැති බව මා කියන්න ඕනෑ.

මිත‍්‍රවරුනි,

මට මතකයි මීට වසර පහකට කලින් 2005 වසරේ නොවැම්බර් 19 වැනි දිනක මේ ස්ථානයේදී මම රට භාරගත්තා. ඒ නොවැම්බර් 19 වෙනිදා මම රට භාරගනිද්දී මේ රට දෙකඩ වෙමින් තිබුණේ. අපි අහස පොළොව ගිගිරුවත් නොසැලෙන මිනිස්සු වාගේ දිවා රෑ නොබලා මහා බලවේගවලට මුහුණ දෙමින් ඒත් ඉවසීමෙන් කැපවීමෙන් වැඩ කළා.

එයින් පසුව තවත් 19 වැනිදා දිනක ගිය අවුරුද්දේ මැයි 19 වැනිදා අපි ත‍්‍රස්තවාදයට එරෙහි ලෝක ජයග‍්‍රහණයක් ලබාගෙන රට එක්සේසත් කළා.

යළිත් මේ නොවැම්බර් 19 වැනිදා මා නැවත රට භාරගන්නේ මාගේ මාතෘ භූමිය ලෝකයේ ශ්‍රේෂ්ඨ ස්ථානයකට ඔසවා තැබීමේ බලාපොරොත්තුව, ශක්තිය, ධෛර්යය ඇතිව බව මම තමුන්නාන්සේලාට කියන්න ඕනෑ.


2005 මහින්ද චින්තනය ඉදිරිපත් කරලා ඒ මඟ ඔස්සේ ගිහින් මේ රට නිදහස් කරගෙන ඒකීය ශී‍්‍ර ලංකාවක් බිහි කළා. අද ඉඳන් අපි ඔබ වරම් දුන් මහින්ද චින්තනයේ ඉදිරි දැක්ම කි‍්‍රයාත්මක කරලා මේ රට ලෝකයේ ශ්‍රේෂ්ඨ ස්ථානයකට ඔසවා තබනවා.


2005දී මට තිබුණ ධෛර්යය වාගේ කිහිප ගුණයක ධෛර්යයක්, එදා තිබුණ ශක්තිය වාගේ කිහිප ගුණයක ශක්තියක්, ආත්ම විශ්වාසයක් ඇතිවයි මම අද රට භාරගන්නේ.


මිත‍්‍රවරුනි,

අපි වැඩි දෙනා දකුණේ විනාශකාරී කැරළි දෙකකුත් උතුරේ ත‍්‍රස්තවාදී විනාශයත් ජීවිත කාලය පුරා දැකපු අය. ත‍්‍රස්තවාදය බෙදුම්වාදය වගේම කැරළිවලින් මාගේ මාතෘ භූමිය ලෝක සිතියමේ පහළට ඇද දමන ආකාරය අපි දැක්කා.

එම නිසා තවත් වසර විස්සකින් තිහකින් නැවත වතාවක් මේ රටේ ලේ වැගිරීමක් ඇතිවන එක නතර කිරීම ලෝකයේ ශ්‍රේෂ්ඨ ජාතියක් වශයෙන් නැගීසිටින්නට යන අප කළ යුතු පළමු කාර්යය බව වටහා ගන්න ඕනෑ.

ඒ සඳහා පළමුව අපි මාතෘ භූමියේ ජාතික සමගියත් සාමයත් දීර්ඝ කාලීනව පවත්වාගෙන යන්න ඕනෑ. මා විශ්වාස කරනවා කැරළි මර්දනයට වඩා දුප්පත්කම මර්දනය ශ්‍රේෂ්ඨයි කියලා. වීරත්වය තිබෙන්නේ දරිද්‍රතාව නැති කිරීමටයි.

ඒ නිසා මේ රටේ ජනතාවගෙන් සියයට අසූවකටත් වඩා ජීවත් වන ගම්මාන දහසය දහසම නංවන්න අපි 2005දීම මහින්ද චින්තනයෙන් තීරණය කළා. දැන් පිට නගරවලත් ගම්වලත් තිබුණ අඳුරු ගරාවැටුණ පෙනුම වෙනුවට නව ආලෝකයක් ලැබී තිබෙන බව ඔබේ හදවතට දැනෙනවා ඇති.

වරායන් පහක් හැදෙනකොට ඒ අවට ගම් පළාත් අනිවාර්යයෙන් ඉතා දියුණු ආර්ථික කලාප බවට පත්වෙනවා. අධිරාජ්‍යවාදීන්ගේ කාලයේ ඉඳලාම නොසලකා හැරපු ගම් පළාත් දියුණු කරලා නව රැකියාවලට, කර්මාන්තවලට, මහා ව්‍යාපාරවලට ජාතියේ දොරටු විවෘත කිරීමක් බව මා කියන්න ඕනෑ.


ලෝකයේ දියුණුවට පත් ජාතීන්ට ප‍්‍රධාන නගරය හැරෙන්නට ලොව ප‍්‍රසිද්ධ වූ තවත් නගර කිහිපයක් ගොඩනැගී තිබෙන බව අපි දන්නවා. රට පුරා සංවර්ධනය පැතිරෙන කොට මහා මාර්ග විප්ලවය සිදුවෙන කොට කොළඹට දෙවැනි නොවන ආකාරයේ නගර කිහිපයක් අපි අපේ රටේ ගොඩනගනවා. එතකොට ලංකාව ගැන අද තිබෙන චිත‍්‍රය සපුරා වෙනස් වෙන බව තමුන්නාන්සේලාට මම කියන්න ඕනෑ.

මේ වෙනකොටත් අපි ගොඩනඟාගෙන යන යෝධ විදුලි බලාගාර නිසා 2012 වර්ෂය වෙනකොට මේ රටේ සෑම පවුලකටම, සෑම ගෙදරකටම විදුලිය ලැබෙනවා. ඒ නිසා ත‍්‍රස්තවාදයෙන් මුදාගත්තු රට 2012 වන විට කළුවරෙන් මුදාගත්ත රටක් බවට පත්වෙනවා නියතයි. ඒ නිසා අපේ විදුලියෙන් මේ රටේ කර්මාන්ත දහස් ගණනක් පණ ලබන හඬ ඔබට වැඩි කල් නොගොසින් අසන්නට ලැබේවි.

එක දිය බිඳක් මුහුදට යා නොදී වැඩට ගන්නැයි පෙර මහ රජුන් දුන් උපදෙස පිළිපදින්නාක් සේම අපත් මේ රටේ තිබෙන මහා ජලාශ සියල්ලම දැන් සංවර්ධනයට යොදාගෙන තිබෙනවා.

එක ජලාශයක් නිකරුණේ නොතබා වැඩට ගන්න ඕනෑ. මේ ප‍්‍රදේශ නිසා අටුකොටු පිරෙනවා වගේම ගමට පානීය ජලය ලැබෙනවා. අපේ ආහාරයෙන් කුස පිරෙන කොට හිත නිදහස් සුවයෙන් පිරෙනවා.

මිත‍්‍රවරුනි,

ඉදිරියේ තිබෙන්නේ අපි හැමෝටම බොහෝ සෙයින් රට වෙනුවෙන් වැඩ කිරීමට සිදුවන කාලයක්. මේ සියලු රැකියා රටට ඕනෑ. ජාතියට ඕනෑ. සියලු රැකියා වඩා ඵලදායීවත්, වඩා ආදායම් උපයන ආකාරයට ගෞරවනීය තත්ත්වයකට පත්වන එක තමයි අපේ බලාපොරොත්තුව. අපේ ශ‍්‍රමය කුලී ශ‍්‍රමය, වහල් ශ‍්‍රමය නොවෙයි.

එය ශ‍්‍රම සම්පතක් බවට පත්කර ගන්න ඕනෑ. ඒ ශ‍්‍රමය දියුණු කිරීමෙන් තමයි මගේ මව්බිම ආසියාවේ ආශ්චර්ය බවට පත්කරන්න පුළුවන්.

මිත‍්‍රවරුනි,

අපිට අපේ තරුණ පරපුර ගැන විශාල බලාපොරොත්තුවක් තිබෙනවා. අපේ තරුණයෝ ති‍්‍රවිධ හමුදාවට බැඳිලා ලොව විස්මයට පත්කරන විජයග‍්‍රහණයක් ගෙන ආ ආකාරය සදාකල්හිම මතක තබාගන්නවා.

ඒ වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කරලා මේ පොළොවේ සැතපෙන අසමසම රණවිරුවන් මෙනෙහි කරන අතරෙම මාගේ ආදරණීය දරුවන්ගේ ශක්තිය ගැන මා දැඩි විශ්වාසය තබනවා.

අනාගත පරපුර භාෂා තුනම ඉගෙන ගන්න පරපුරක් බවට පත්කරන්න ඕනෑ. පරිගණක සාක්ෂරතාව ඉදිරි කාලයේ සියයට හැත්තෑ පහකින් වැඩි කරලා අනාගත පරපුර නවීන තාක්ෂණික ලෝකයේ වීරයන් කරන්නයි මගේ බලාපොරොත්තුව.

ලෝකයේ විද්‍යා තාක්ෂණ දැනුම ඥානය උපයෝගී කරගන්න රැකියා කරන මේ ලැයිස්තුවේ ඉදිරියෙන්ම ශී‍්‍ර ලාංකික තරුණයන්ගේ නම තියෙන්න ඕනෑ. අපි මේ රටේ දැනුමේ කේන්ද්‍රය බවට පත්කරන කොට අපේ පරපුරට ඒ ජයග‍්‍රහණය ලබාගන්න පුළුවන්.

අපට ඕනෑ පැය තුන හතරකදී මේ රටේ ඒ කෙළවරේ සිට මේ කෙළවරට යා හැකි රටක්. ජනතාවගේ අතට හොඳ ආදායමක් ලැබෙන යුගයක්. අපි නැඟීසිටින්නේ නාවික, ගුවන් දැනුම, බලශක්තිය හා වෙළෙඳ හා වාණිජ යන පංච බලවේගයන්ගෙන් සමන්විත රටක් ලෙසයි.

පහසුකම් සහිත පරිසරයක ජීවත්වෙන ආදරය, රැකවරණය, සෙනෙහස සහිතව අපේ දරුවන් ගොඩනැගූ විට ආගම් භේද, ජාති භේද, කුල භේද පමණක් නොව දේශපාලන වෛරය ද අපට අතුගා දමන්න පුළුවන්.


ඒ නිසා සංවර්ධනය කියන්නේ ශ්‍රේෂ්ඨ මානුෂික ගුණාංගයන්ගෙන් ඈත්වෙලා ගහකොල සතා සිව්පාවා අහිමි කරගෙන කොන්ක්‍රීට් තට්ටුවක් මත තනිවෙන එක නොවෙයි. අපි දියුණුව කරා යා යුත්තේ අප ජාතීන් වෙත පවතින්නා වූ ශ්‍රේෂ්ඨ මානුෂික ගුණාංග රැකගෙනයි. අපි අපේ සතා සිව්පාවාට පවා අපි ඇතිකර ගන්නා සංවර්ධනයේ දියුණුවේ ඵල ලබාදෙන්න ඕනෑ.

මතක තබාගන්න අපි දියුණු රටක කුඩා කළ අනුරුවක් නොවෙයි. අපි ශී‍්‍ර ලංකාව. අපේ මාතෘ භූමිය ශ්‍රී ලංකාවයි.

මිත‍්‍රවරුනි,

එන ඕනෑම මතයක් ඉවසන්නටත් පරිණත තීන්දු ගන්නටත් වුවමනා ඓතිහාසිකව ගොඩනැගුණ ප‍්‍රඥාවක් අප ජාතිය සතුයි. අපේ රටේ ගැටළු තේරුම්ගන්න ඒවා විසඳගන්න අවශ්‍ය දැක්ම අපේ සම්ප‍්‍රදායේ තිබෙනවා. එළඹුණු සිහියෙන් යුතුවයි අපි අපේ රටේ ප‍්‍රශ්න දෙස බලන්නේ.

ත‍්‍රස්තවාදීන් බලාපොරොත්තු වූ දේ ජනතාව බලාපොරොත්තු වුණේ නෑ. ඉතිහාසයේ කිසිම දවසක උතුරු නැගෙනහිරට නොකළ වැඩ කොටසක් අපි උතුරේ වගේම නැගෙනහිරත් කර තිබෙනවා.

මේ උතුරේත් නැගෙනහිරත් සිදුවෙන සැම සංවර්ධන කි‍්‍රයාවලියක්ම ත‍්‍රස්තවාදයට තිබෙන යෝධ මාවතක් වසාදමනවා. මේ දුප්පත්කම නැතිකිරීම යටිතල පහසුකම් සැපයීම දේශපාලන විසඳුමේ දැවැන්ත කොටසක් බව මම දැඩි සේ විශ්වාස කරනවා.


උතුරේ ජනතාව පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයේදීත් නිදහසේ තමන්ගේ ඡන්දය පාවිච්චි කළා. ඉදිරි මැතිවරණවලදීත් ඔවුන්ට නිදහසේ තමන්ගේ ඡන්දය පාවිච්චි කරලා තම නියෝජිතයන් පත්කර ගන්න අවස්ථාව දෙනවා.


මිත‍්‍රවරුනි


අපේ ප‍්‍රතිපත්තිය නොබැඳි ප‍්‍රතිපත්තිය. අපිට සතුරු රාජ්‍ය හෝ සතුරු පිල් නෑ.


අපි පසුගිය යුගයේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් රටවල් රාශියක් සමග එකඟත්වයෙන් සුහදව වැඩ කළා. ඒ සඳහා අපට සහාය වෙන රාජ්‍යයන් වෙත අපේ මිත‍්‍රත්වයේ හස්තය දිගු කරනවා. සාමය නැති තැන සංවර්ධනයවත් සංවර්ධනය නැති තැන සාමයවත් නෑ.


ඒ නිසා ජාතික ආරක්ෂාව වෙනුවෙන් රාජ්‍යයන් සමග පැවැත්වූ සබඳතා ශක්තිමත් කරගන්න අතරේ නව සබඳතා ඇතිකර ගැනීමටත් අපි කටයුතු කරනවා.


මිත‍්‍රවරුනි,


යමක් දුෂ්කර වූ පමණින් අතඇරීම මගේ සිරිත නොවේ, රට නිදහස් කරගැනීමේදී පමණක් නොවෙයි වර්තමානයේ මේ සමාජය ගලවා ගත නොහැකියි කියලා ඇතමුන් විශ්වාස කරන ගැටළු නිරාකරණයේදී දැඩි තීරණ ගන්න අපි පසුබට වන්නේ නෑ.


අපට ඕනෑ පාතාලයක් නැති අනවසර ගිනි අවි නැති නීතිවිරෝධී ජාවාරම් මත්ද්‍රව්‍යයෙන් තොර රටක්. දූෂණයෙන් අකාර්යක්ෂමතාවෙන් තොර රටක්. ඒ වෙනුවෙන් තීරණ ගන්නකොට අතර මැද සාමයක් මා බලාපොරොත්තු වන්නේ නෑ.


මිත‍්‍රවරුනි


ජනාධිපතිවරණයේදී වගේම මහා මැතිවරණයේදීත් මේ රටේ සෑම පළාතකින්ම අතිවිශාල බහුතර ජන වරමක් අපට ලැබුණා. සමානුපාතික ක‍්‍රමය යටතේ ලොව කිසිදු රටකට ලබාගත නොහැකි ජන වරමක් මේ රටේ ජනතාව අප වෙත ලබාදුන්නා.


මේ ජයග‍්‍රහණයෙන් මතුවන අනාගත විජයග‍්‍රහණයේ යෝධ කොටස්කරුවකු බවට මේ රටේ සෑම කෙනකුම පත්වෙනවා දකින්න ඕනෑ නිසා දේශපාලන පක්ෂ භේදයෙන් තොරව අප හා එක්වන්නැයි මා ඉල්ලා සිටිනවා.


මිත‍්‍රවරුනි,


දෙවතාවක් මේ රටේ ඉහළම තැනට ඔබ මා ඔසවා තැබුවා. ඔබට මා ඔසවා තබන්න තවත් තැනක් නෑ. මටත් මේ මාතෘ භූමියේ ඉහළට යා හැකි තැනක් නෑ. තිබෙන්නේ එක තැනයි. ඒ මාගේ ධුර කාලයෙන් විශ‍්‍රාම ගිය දවසක මාගේ ගෙදර වන මැදමුලනයි. ඒ ඈත රුහුණේ ගිරුවායේ මැදමුලනයි.


එහෙම ගියදාට මේ රටේ පුරවැසියෙකු මා හමුවී ‘ඔබේ රටට ඔබේ යුතුකම ඉටුකළා’ කියා කිව්වොත්, එයයි, මට තිබෙන තෘප්තිය. සතුට සැනසිල්ල. සැරසිල්ලට වඩා මේ රටේ ජනතාවගේ සැනසිල්ලේ සතුට මට වටිනවා.


ආදරණිය දුවේ පුතේ,


මම කිසිම දවසක කතාවකදී මාගේ මාතෘ භූමියට පුංචි රට කියලා කිව්වේ නෑ. මා උපන්න රට පුංචි ශ‍්‍රී ලංකාව හෝ පුංචි කෙදෙව්ව කියලා හිතුවේවත් නෑ. අපිට නෑ බෑ කියලා කවදාවත් හිතුවේ නෑ.


වසර දහස් ගණනක ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තිබෙන, කලා වැව, රුවන්වැලි මහා සෑය, සීගිරිය ලෝවාමහාපාය ඉදිකළ, දළදා වහන්සේ රැකබලාගත්, බුදුන් වහන්සේ තුන් වරක් වැඩම කළ වසර තුන් හාර සියයක් ලෝකයේ බලවත් අධිරාජ්‍යයන්ට එරෙහිව සටන් කරලා නිදහස රැකගත් ලෝකයේ දරුණුම, ප‍්‍රබලම ත‍්‍රස්තවාදීන් පරදවපු, ප‍්‍රධාන ආගම් 4ක් අදහන ජනතාවක් වෙසෙන ජාතීන් රාශියක් සහෝදරත්වයෙන් ජීවත් වන, ලොව ලොකු වරායක් ඇතුළු වරායන් 5ක් ඉදිවෙන, ගුවන්තොටුපොළ, අධිවේගී මාර්ග, මහා විදුලිබලාගාර ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණ, සම්මන්ත‍්‍රණ ශාලා ඉදිවෙන මේ රට පුංචියි කියන්න කාට ද පුළුවන්.


සිත කය වචනය ශ්‍රේෂ්ඨයෙකු ලෙස හසුරුවාගෙන ශ්‍රේෂ්ඨයෙකු වන්න. රට ගොඩනගන්න වැඩ කරන්න.

ඒ බුදු වදන සිහියට ගන්න කියලා මම හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා.


උට්ඨානවතො සතිමතො- සුචිකම්මස්ස නිසම්මකාරිනො

සඤ්ඤතස්සච ධම්ම ජීවිනො - අප්පමත්තස්ස යසොහිවඞ්ඪති.


නැගී සිට වීර්යය ඇති, තමා ගැන තමාටම දැනෙන සිහිය ඇති, නිදොස් දේ කරන, විමසා බලා කටයුතු කරන, තැන්පත්, දැහැමි දිවි පැවැතුම් ඇති නොපමා පුද්ගලයාගේ කීර්තිය මනාව වැඩේ.


ඔබ සැමට සුබ අනාගතයක්.

No comments:

Post a Comment