FREE TO COMMENT HERE. ANY ONE CAN COMMENT ANY THING GOOD OR BAD. NO RESTRICTIONS - U CAN COMMENT AS ANONYMOUS USER.

ප්‍රතිපත්ති ගරුක බෞද්ධයන් වෙමු


prime minister message for vesak 2010
කුරිරු ත්‍රස්තවාදයෙන් රට මුදාගැනීමෙන් අනතුරුව එළඹෙන පළමු වෙසක් මංගල්‍ය උත්සවාකාරයෙන් සමරන්නට ලැබීම බෞද්ධයන්ට මහත් සතුටට කරුණක් බව අගමැති දි.මු.ජයරත්න මහතා පවසයි.

ඒ මහතා මේ අදහස් පළ කරන්නේ වෙසක් පුන් පොහෝ දිනය වෙනුවෙන්පණිවිඩයක් නිකුත් කරමිනි. එම පණිවිඩය සම්පූර්ණයෙන් මෙසේ ය. සුගත තථාගත ලෝක විදූ, ගෞතම බුදු රජාණන් වහන්සේගේ ජන්මෝත්පත්තිය, බුද්ධත්වය, හා පරිනිර්වාණය, සිදුකෙරුණ අති උත්තරීතර වෙසක් පුන් පොහොය නිමිතිකොට සකල ලෝවැසි, බෞද්ධයන් ප්‍රමුඛ, ශ්‍රී ලාංකික බොදුනුවන් වෙත, ආමන්ත්‍රණය කිරීමට හැකිවීම, අග්‍රාමාත්‍යවරයා, බුද්ධශාසන හා ආගමික විෂයභාර අමාත්‍යවරයා, වශයෙන් මා ලැබූ සුවිශේෂී භාග්‍යමත් අවස්ථාවක් ලෙස සලකමි.

බුද්ධස්පර්ශයෙන් 2600 වැනි සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසෙන මෙවර වෙසක් මංගල්‍යය ප්‍රතිපත්ති ගරුක, බෞද්ධයින් බිහිකිරීමේ උදාර අරමුණ පෙරදැරිව ස්මරණය කළයුතු බව මගේ හැඟීමයි.

වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද, සැබෑ බෞද්ධකම ඉස්මතු කෙරෙන ජාති, ආගම්, කුල, පන්ති භේද සියල්ල පසෙකලා කරුණාභරිත සමාජයක් නිර්මාණය කිරීමේ සද්කාර්යය මේ මොහොතේ අප හමුවේ ඇති පළමු අභියෝගයයි.

අනෙකාගේ දුක, දුකක් ලෙසින්ද, සැපය, සැපයක් ලෙසින්ද තමාම අත්විඳින්නා නියම බෞද්ධයෙකු ලෙස අර්ථදැක්විය හැකිය. ඔහු කිසිවිටෙකත් ජාති, කුල,මල, ආගම් හෝ උස් පහත් භේදයෙන් මනස දූෂ්‍යකර නොගත්තෙකි. වරද, නිවරද, නිවැරදිව හඳුනාගැනීමේ ම’ නැස නියම බෞද්ධයා සතුය. අප සමාජය තුළ වඩ වඩාත් රෝපණය කළ යුත්තේ එවන් බොදු සිත් ය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ උදාර නායකත්වය විසින් ලේ පිපාසිත කුරිරු ත්‍රස්තවාදයෙන්, ශ්‍රී ලංකා මාතාව මුදාගත් පළමු වර්ෂ පූර්ණයෙහි සැමරෙන මෙවර බුදු තෙමඟුල උතුරු නැගෙනහිර වෙහෙර විහාරස්ථානයන්හිද, අති උත්කර්ෂවත් ලෙස බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුතුව සැමරීමට සියලු කටයුතු සූදානම්කොට තිබේ.

උතුරේත්, දකුණේත්, සහෝදර දෙසවන් සාධු නාදයෙන් උදම් වන මේ උතුම් දිනයේ සැබෑ බෞද්ධයන් ලෙස සදහම් මාර්ගය, නිවැරදිව හඳුනා ගන්නටත්, ඒ ම’ගෙහිම යන්නටත්, ඔබට රත්නත්‍රයේ ආශිර්වාදය ලැබේවා !

සුබ වෙසක් මංගල්‍යයක් වේවා !

තෙරුවන් සරණයි!

No comments:

Post a Comment