FREE TO COMMENT HERE. ANY ONE CAN COMMENT ANY THING GOOD OR BAD. NO RESTRICTIONS - U CAN COMMENT AS ANONYMOUS USER.

විජයග්‍රහණයට රට පුරා සැමරුම් ජාතික උත්සවය 20දා


ත්‍රස්තවාදී ග්‍රහණයෙන් රටත් ජනතාවත් මුදාගෙන ලබාගත් විජයග්‍රහණයට වසරක් පිරීම නිමිත්තෙන් රණවිරුවන්ට ජාතියේ ප්‍රණාමය පුද කිරීමේ ජාතික රණවිරු සැමරුම් උත්සවය ලබන 20 දා ගාලුමුවදොර පිටියේදී සහ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ පිහිටි රණවිරු ස්මාරකය අසළදී පැවැත්වේ.

ගාලු මුවදොර පිටියේ සහ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය අසළ මේ රණවිරු උපහාර උත්සව පැවැත්වෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙනි.

ගාලු මුවදොර පෙළපාළිය 20දා උදේ 8.30 ආරම්භ වේ. විජයග්‍රහණයේ පෙළපාළිය ලෙස හැඳින්වෙන මේ පෙළපාළියට සහභාගිවන්නේ මාවිල්ආරු සොරොව්ව මුදාගැනීමේ සිට ඉදිරියට ගොස්; නන්දිකඩාල් කලපුවේදී ප්‍රභාකරන්ගේ අවසානය සටහන් කළ මානුෂික මෙහෙයුමට සහභාගි වූ 53, 55, 57, 59 සේනාංක සහ 2 – 3 – 4 කාර්ය සාධක බළකායන්ය. මීට අමතරව මේ පෙළපාළියට නාවික – ගුවන් - පොලිසිය සහ සිවිල් ආරක්ෂක බළකායේ රණවිරුවෝ ද සහභාගිවෙති.

ජයවර්ධනපුර පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අසළ 20 දා සවස 4.30ට රට ජාතිය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිපත් කිරීමේ උත්සවය පැවැත්වෙයි. ජාතියේ උත්තමාචාරය පුද කරන මේ වැදගත් මොහොතට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගිවේ.

ශ්‍රී ලංකා නාවුක හමුදාව විසින් ජාතිය වෙනුවෙන් පිදෙන ආචාර වෙඩි මුර උත්තමාචාරය ද 20 වැනිදා දහවල් 12ට නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්වේ.

ලබන 22 වැනිදා ආරක්ෂක අමාත්‍යාංශය සංවිධානය කරන පිරිත් සජ්ඣායනාවක් බණ්ඩාරනායක අනුස්මරණ අන්තර් ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. මෙම පිරිත් සජ්ඣායනයට භික්ෂූන් වහන්සේ 3000 ක් දෙනා වැඩම කරනු ඇත. මීටත් අමතරව රට පුරා පළාත් හා ප්‍රාදේශීය මට්ටමින් රණවිරු උපහාර උත්සව රැසක් ද පැවැත්වේ.

දයා ඩී.ෆොන්සේකා silumina 5-16

No comments:

Post a Comment