FREE TO COMMENT HERE. ANY ONE CAN COMMENT ANY THING GOOD OR BAD. NO RESTRICTIONS - U CAN COMMENT AS ANONYMOUS USER.

අපේ රාජ්‍ය ප්‍රතිපත්තිය සදහම් මඟ ගුරු කොට ගත්තකි - ජනපති


අප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සදහම් පණිවුඩය රැගෙන මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩම කිරීමෙන් දෙසු දහම අප සමාජයත් සංස්කෘතියත් නව මඟකට යොමු කර ලොව අන්‍ය ජාතීන් විශ්මයට පත්කරවන ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කීමට අපට හැකි වූ බව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සඳහන් කරයි. පොසොන් පෝය නිමිත්තෙන් නිකුත් කරන ලද පණිවුඩයේ ජනාධිපතිතුමා එසේ සඳහන් කරයි.

එම පණිවුඩයේ මෙසේ ද සඳහන් වෙයි.

මිහිඳු හිමියන් දෙසු දහම් අප සමාජයත්, සංස්කෘතියත් නව මඟකට යොමු කෙළේය. ජාති ආගම් භේද නොසලකා එකම රටක පුරවැසියන් ලෙස සහජීවනයෙන් ජීවත් වීමට ඒ දහම් පණිවුඩය අපට මාර්ගෝපදේශය විය. කරුණාව, දයාව හා මෛත්‍රිය පෙරටු කොටගත් අප අවිහිංසාවාදී සමාජයක් ගොඩනඟා, සුචරිතවත් ජාතියක් ලෙස අදිටනින් පෙරට ආවෙමු. ලොව අන්‍ය ජාතින් විශ්මයට පත්කරවන ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කීමට අපට හැකිවූයේ ද මිහිඳු හිමියන් පෙන්වා දුන් සැනසිලිසහගත ගමන්මග නිසා ය.

මිහිඳු හිමියන් පෙන්වා දුන් දිශානතියට යොමුව දැහැමි රටක් ගොඩනැඟීමට අද රට එක්සේසත්ව තිබේ. අධිෂ්ඨානයෙන් කටයුතු කොට සියල්ල ජයගත යුතු වන්නෙමු. දයාව, කරුණාව පෙරදැරිව සහජීවනය ඇති කළ යුතු වෙමු. සියලුම බේද අප පරාජිතයන් බවට පත්කරවන බව අප අමතක කළ යුතු නොවේ. අප රාජ්‍ය ප්‍රතිපත්තිය සැම විටම ධර්මයේ මඟ ගුරු කොට ගත්තකි.

ධම්මෝ හවේ රක්ඛති ධම්ම වාරි

“ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් ම රකියි” යන මිහිඳු හිමියන් අප ජාතියට ඉගැන්වූ සම්බුදු වදන මෙනෙහි කරමින් මේ පොසොන් සමය අර්ථවත් කොට අලුත් ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට පෙළ ගැසෙමු.

No comments:

Post a Comment