FREE TO COMMENT HERE. ANY ONE CAN COMMENT ANY THING GOOD OR BAD. NO RESTRICTIONS - U CAN COMMENT AS ANONYMOUS USER.

පිරිපුන් ළමා පරපුරක් තැනීම දීප්තිමත් අනාගතයක අඩිතාලමයි - ළමා දින පණිවිඩයෙන් ජනපති කියයි

ළමයිනට පැහැබර හෙට දිනක් උදාකර දීමට මවුපියන් ඇතුළු සමස්ත වැඩිහිටි ප්‍රජාවම ළමයින් පිළිබඳව සංවේදී හා සුබවාදී චින්තනයකින් යුතුවීම අත්‍යවශ්‍ය කරුණක් වන්නේ යැයි ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

එවැනි චින්තනයකින් හෙබි සමාජයකින් ළමයිනට මුහුණ දීමට සිදුවන සැහැසිකම් හිංසනයන් හා අයිතිවාසිකම් කඩවීම් අවම වනු ඇතැයි ද ජනාධිපතිවරයා සිය ළමා දින පණිවිඩයෙන් අවධාරණය කරයි. එම පණිවිඩය මෙසේය.

රටක දීප්තිමත් අනාගතයකට තැබෙන පළමු අඩිතාලම වන්නේ පිරිපුන් ළමා පරපුරක් නිර්මාණය කිරීමයි. එම වගකීම මනාව හඳුනාගෙන ඇති වත්මන් රජය නූපන් දරුවාගේ පටන් ඔහු ඉපදී වැඩිහිටියෙකු බවට පත්වීම දක්වා කායික, මානසික, අධ්‍යාත්මික හා පෞරුෂ සංවර්ධනයත්, ආරක්‍ෂාව හා රැකවරණය තහවුරු කිරීමටත් අන් කවරදාකටවත් වඩා පියවර ගෙන ඇත.

දිවයිනේ සියලු පළාත්වල දරුවන්ගේ පෝෂණ, අධ්‍යාපන හා සෞඛ්‍ය තත්ත්වයන් නගාසිටුවීමටත් ඔවුන්ට අවශ්‍ය රැකවරණය සලසා දෙමින් ඔවුන්ගේ පවුල් සවිබල ගැන්වීමටත් මෙම රජය විසින් අති විශාල ආයෝජනයක් කර තිබේ. මෙහිදී අපගේ ආදර්ශ පාඨය “හොඳම දේ දරුවන්ට” යන්න ය.

ළමයින්ට පැහැබර හෙට දිනක් උදාකර දීමට දෙමාපියන් ඇතුළු සමස්ත වැඩිහිටි ප්‍රජාවම ළමුන් පිළිබඳ සංවේදී හා සුබවාදී චින්තනයකින් යුතුවීම අත්‍යාවශ්‍ය බව මම දැඩි ලෙස විශ්වාස කරමි. එවැනි චින්තනයකින් හෙබි සමාජයකින් ළමයින්ට මුහුණ දීමට සිදුවන සැහැසිකම්, හිංසනයන් හා අයිතිවාසිකම් කඩවීම් අවම වනු නොඅනුමානය.

අපි මේ වන විට විශාල වශයෙන් තාප හා ජල විදුලි බලාගාර, අධිවේගී හා නවීන මංමාවත් අති විශාල වරායන් හා ජාත්‍යන්තර මට්ටමේ ගුවන් තොටුපළවල් මෙන් ම සුවිශාල වාරිමාර්ග ව්‍යාපෘති සාර්ථකව නිමකර වේගවත් සංවර්ධනයකට ප්‍රවිශ්ට වී සිටින්නෙමු. ඒ අතර ම නවීන ලෝකයට ඔබින දේශීය චින්තනයෙන් හෙබි ළමා පරපුරක් ජනිත කිරීම සඳහා අධ්‍යාපනයේ, තොරතුරු තාක්ෂණයේ හා අනෙකුත් කුසලතා වර්ධන ක්ෂේත්‍රයන්හි ගුණාත්මක හා ප්‍රමාණාත්මක ඉදිරි පියවර රැසක් ගෙන තිබීම ද ජාතියක් වශයෙන් අප ලැබූ ජයග්‍රහණයන් වේ.

ලෝකයේ කිසිම බලවේගයක් ඉදිරියේ පසුනොබසින අන් කිසිම ජාතියකට දෙවැනි නොවන ලොව බලවත් ජාතියක් ලෙස වැජඹෙන්නට අපේ ශ්‍රී ලාංකික දරු පරපුරට සියලු මංපෙත් විවර කර දීම වැඩිහිටි අප සියලු දෙනා සතු පරම යුග මෙහෙවර වන්නේ ය. එවිට “ළමා ලොවම එළිය වෙන්න – හැම දෑතෙම සවිය දෙන්න” යන මෙවර ළමා ලෝක දින තේමා පාඨය යථාර්ථයක් බවට පත්වනු නිසැකය.

No comments:

Post a Comment