FREE TO COMMENT HERE. ANY ONE CAN COMMENT ANY THING GOOD OR BAD. NO RESTRICTIONS - U CAN COMMENT AS ANONYMOUS USER.

සරත් ෆොන්සේකාගේ පාවාදීම..

පසුගිය සතියේ වැදගත්ම මාතෘකාව සරත් ෆොන්සේකා හමුදා නිල ඇඳුමේ සිට කපටි කිට යෑයි හැඳින්වෙන දේශපාලනඥයන්ගේ ඇඳුම ඔස්‌සේ සිරකරුවකුගේ ජම්පරය දක්‌වා මාරුවීම බව නිසැකය. එබැවින් ඒ ගැනත් නාග විහාරයේ ඉතා අල්පේච්ඡ ජීවිතයක්‌ ගතකරන මාදුළුවාවේ සෝභිත හිමියන් ඒ අල්පේච්ඡ ජීවිතයද අත්හරිමින් නාග විහාරයේ සිට ආරණ්‍යයකට වෘක්‍ෂමුලයකට, ශුන්‍යාගාරයකට වැනි තැනකට නොව සිරගෙදරට නිෂ්ක්‍රමණයකට සුදානම් වීම ගැනත් සුළුවෙන් වුවත් සඳහන් කළ යුතුය. සෝභිත හාමුදුරුවෝ කලක්‌ චින්තන පර්ෂදයේ සභාපති හාමුදුරුවෝ ද වූහ. උන්වහන්සේ සෑහෙන කලක්‌ මෙරට ජාතික ව්‍යාපාරයේ ඉදිරියෙන් ම සිටියහ. එහෙත් පසු කලෙක විවිධ හේතු නිස උන්වහන්සේ වෙනත් මගක වැඩම කළහ. අද උන්වහන්සේ ව්‍යාජ ජාතික ව්‍යාපාරයක කොටස්‌කරුවකු වීමට උත්සාහ දරති. සරත් ෆොන්සේකා හා ජ. වි. පෙ. විසින් මෙහෙයවන භික්‍ෂු පෙරමුණ ඔස්‌සේ ඒ ව්‍යාජ ජාතික ව්‍යාපාරය ක්‍රියාත්මක වෙයි. ෆොන්සේකා ද ජ වි පෙරමුණ ද ජාතික ව්‍යාපාරයෙහි හතර මායිමේවත් නොමැත. තමන් වහන්සේ ඉල්ලූ නිසා සිරගෙදරට වැඩම කරවීමට නොහැකි බව සෝභිත හාමුදුරුවෝ දනිති. එබැවින් උන්වහන්සේගේ ඉල්ලීම ජනප්‍රියවාදී දේශපාලනඥයෙකු කරන ඉල්ලීමකට සමානය.

ඒ කෙසේ වෙතත් ෆොන්සේකා ඊනියා යුද වීරයා බවට පත්කිරීමට එදා "යුද්ධයට" විරුද්ධ වූ රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසක්‌ උත්සාහ කරති. එදා "යුද්ධයට" සමච්චල් කරමින් මැදවච්චි පාමංකඩ කතා කීවුන්ට ෆොන්සේකා ගැලවීමේ හමුදාවේ නායකත්වයටවත් නුසුදුසු යෑයි කී අය ද ෆොන්සේකාගේ ජම්පරයේ එල්ලී ගැලවීමට දරන උත්සාහයට සෝභිත හාමුදුරුවන් ද එකතු වී තිබීම පුදුමයක්‌ නොවේ. ඔවුහු සියල්ලෝම කලක සිට විජාතික බලවේගවලට සේවය කරති. එහෙත් එවිට ප්‍රශ්නයක්‌ වෙයි. එදා ෆොන්aaaaසේකා හොඳම හමුදාපති යෑයි කී අය අද ඔහුට නිල ඇඳුම ගලවා ජම්පර අන්දවන්නේ ඇයි ද යන්නය. එයට ඇත්තේ එකම එක පිළිතුරක්‌ පමණකි. ෆොන්සේකා එදා රාජ්‍යය හා සිංහල බෞද්ධ ජාතිකත්වය රැකගැනීමට සටන් කෙළේය. අද ඔහු රාජ්‍යය හා සිංහල බෞද්ධ ජාතිකත්වය පාවාදීමට කටයුතු කරයි.

සරත් ෆොන්සේකා ගැන මේ තීරුවේ බොහෝ දේ සඳහන් වී ඇත. ඔහු ලොවේ දක්‍ෂතම හමුදාපති විය හැකිය. එහෙත් ප්‍රභාකරන් පරදවන ලද්දේ ඔහු විසින් නොවේ. ඔහු පාබල හමුදාව මෙහෙයවූවා පමණකි. ගුවන් හමුදාව, නාවික හමුදාව, පොලිසිය, සිවිල් ආරක්‍ෂක බලකාය පමණක්‌ නොව ජනතාව ද රනිල් වික්‍රමසිංහගේ රවි කරුණානායකලාගේ හමුදා විරෝධී හා ජාතිෙද්‍ර`හී කතා නොතකා දෙන ලද සහාය නොවන්නට ප්‍රභාකරන් හා ත්‍රස්‌තවාදය පරාජය කළ නොහැකි වීමට තිබිණි. එහෙත් ඒ සියල්ලටම වඩා බලපෑ සාධකය වූයේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් දෙන ලද දේශපාලන නායකත්වයය.

ත්‍රස්‌තවාදයට එරෙහි සටන් මෙහෙයුම් ජයග්‍රහණය කිරීමට දේශපාලන නායකත්වයක්‌ තිබිය යුද යෑයි අප කියා සිටි මුල් අවස්‌ථාවල අපට ඔච්චම් කිරීමට ඊනියා දේශපාලන විචාරකයෝ, පඬි දේශපාලන විශ්ලේෂකයෝ සෑදී පැහැදී සිටියහ. ඔවුහු අපේ නොදැනුවත්කම ගැන කතා කළහ. හමුදාවට දේශපාලන නායකත්වයක්‌ අවශ්‍ය නැතැයි ද එය හමුදා ඒකාධිපතිවාදයකට මග කැපීමක්‌ යෑයි ද ඔවුහු උජාරුවෙන් බටහිර කිසියම් පඬියකුගේ ලිපියකින්, පොතකින් උපුටා දක්‌වමින් පැවසූහ. එහෙත් අද මේ සියලු දෙනාම පාහේ මහින්ද රාජපක්‍ෂ මහතා විසින් හමුදාවට දෙන ලද දේශපාලන නායකත්වය ගැන ප්‍රසංශා කරති. අර බටහිර පඬියන් ඒ සම්බන්ධයෙන් කියන්නේ කුමක්‌ දැයි මේ උපුටා දක්‌වන්නන්ගෙන් දැන ගැනීමට අපි කැමැත්තෙන් සිටිමු.

බටහිර ඊනියා දේශපාලන විචාරකයන්, හමුදා කටයුතු විශ්ලේෂකයන් (කොටි පැරදවීමට නොහැකි යෑයි ද සාම කතා හැරෙන්නට වෙනත් විකල්පයක්‌ නැතැයි ද එදා කී මහාචාර්ය රොහාන් ගුණරත්න ඇතුළු මේ ඊනියා විශ්ලේෂකයන් දන්නා විශ්ලේෂණයක්‌ නැත. ඔවුන් දන්නා එකම විශ්ලේෂණය ඔරුව පෙරළුණු පසු පෙරළුණු පැත්ත හොඳ යෑයි කීමය.) කුමක්‌ කීව ද මහින්ද රාජපක්‍ෂ මහතා නොවන්නට හමුදා ජයග්‍රහණයක්‌ නැත. සරත් ෆොන්සේකා දක්‍ෂයෙකි. ඒ ගැන විවාදයක්‌ නැත. එහෙත් වෙනත් යුද හමුදාපතිවරයකු යටතේ ද හමුදා ජයග්‍රහණයක්‌ ලබා ගැනීමට තිබිණි. සරත් ෆොන්සේකලා සිය ගණනක්‌ හමුදාවේ ඇති බවට සැකයක්‌ නැත. එහෙත් මහින්ද රාජපක්‍ෂලා ඇත්තේ එක්‌ අයකු හා එක්‌ අයකු පමණකි. මහින්ද රාජපක්‍ෂ මහතාගේ සුවිශේෂත්වය එය වෙයි. සරත් ෆොන්සේකා නැතිව වුවත් හමුදා ජයග්‍රණයක්‌ ලබාගත හැකිව තිබිණි. එහෙත් මහින්ද රාජපක්‍ෂ මහතා නොමැතිව ජයග්‍රහණයක්‌ නැත.

සරත් ෆොන්සේකාගේ නම මෙරට ඉතිහාසයේ රන් අකුරින් ලියෑවීමට තිබිණි. ඔහුට ඒ තැන අහිමි කළෝ විශාල පිරිසක්‌ වෙති. ලැයිස්‌තුවෙහි පළමුවෙන්ම ඇත්තේ ඔහුගේ නමය. ඔහුගේ අසීමිත මමත්වය ඔහුට එරෙහිව ක්‍රියා කෙළේය. ඔහු හමුදාව තම දේපළක්‌ ලෙස සිතුවේය. ඔහුගේ දක්‍ෂතාව ගැන ස්‌වයං මෝහනයට පත්විය. හමුදාව යනු සරත් ෆොන්සේකා ය. සරත් ෆොන්සේකා යනු හමුදාව ය යන මතයෙන් ඔහු මත් වී සිටියේය. අද ද එසේම ය. නැගෙනහිර සටන ජයග්‍රහණය කරා මෙහෙය වූ මේජර් ජනරාල් පරාක්‍රම පන්නිපිටිය හා අනෙක්‌ අය සම්බන්ධයෙන් ඔහු ක්‍රියා කළ ආකාරය ගැන අපි දනිමු. ඔහු පත්කළ යුද්ධාධිකරණ ගැන ද නොදන්නකු නැත. ඔහු ජනාධිපතිවරණ ව්‍යාපාරයේදී කලවැද්දන් ආදී සතුන් ගැන අපට කියා දුන්නේය. කාණු දිගේ බඩගාමින් ඔහු හමුවීමට අනගාතයේදී පැමිණෙන්නන් ගැන කතා කෙළේය. ජනප්‍රියත්වයේ මුදුන් හිණි පෙත්තට නැග සිටි ඔහු ඉණිමගත් සමගම ඇද වැටී ඇත. අද සරත් ෆොන්සේකාට පළ දෙන්නේ දිට්‌ඨධම්ම වේදනීය කර්මයකි. ඒ එක්‌ පැත්තකි.

තම දක්‍ෂතාවෙන් මෝහනයට පත් වූ සරත් ෆොන්සේකා හඳ ඉල්ලා හැŽය. හමුදාවෙන් දේශපාලනයට පිවිසීම ඔහුගේ අරමුණ විය. ඔහු හමුදා ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට වුවත් ක්‍රියාකිරීමට සුදානමින් සිටින්නට ඇතැයි සිතිය හැක්‌කේ පසුගිය ජනාධිපතිවරණයට පසුව ඔහු ට්‍රාන්ස්‌ ඒෂියා හෝටලයට වී රඟ දැක්‌වූ නාටකය හේතුවෙනි. යම් අයුරකින් මහින්ද රාජපක්‍ෂ මහතා පරාද වී නම් හෝ සුළු ඡන්ද සංඛ්‍යාවකින් ජයගත්තේ වී නම් හෝ අද ජනාධිපති සරත් ෆොන්සේකාය. එසේ නම් මේ රට ලේ විලක්‌ බවට පත්වීමට ඉඩ තිබිණි. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක්‌ ගැන බෙරිහන් දෙන දෙස්‌ විදෙස්‌ පඬියන්ට ඒ ගැන වගක්‌ නැත. බටහිරයන් මේ වන විට රට දෙකඩ කර ෆොන්සේකාට ඊනියා දකුණත් ප්‍රභාකරන්ට ඊනියා උතුරත් භාරදීමට කටයුතු කිරීමට තිබිණි. එසේ වී නම් අද යාපනයට යන ලක්‍ෂ සංඛ්‍යාත සිංහලයන්ට මැදවච්චියෙන් එහාට යැමට රවි කරුණානායකගෙන් වීසා ගැනීමට සිදුවන්නට තිබිණි.

තම මමත්වයේ සීමාවක්‌ නොදුටු සරත් ෆොන්සේකා බටහිරයන්ගේ අතකොළුවක්‌ බවට පත්විය. ඔහු සුදු කොඩි කතාව කීවේ බටහිරයන් වෙනුවෙනි. එහි ඇත්තේ එකම එක අරමුණක්‌ පමණකි. ඒ මහින්ද රාජපක්‍ෂ මහතා හා ගෝඨාභය රාජපක්‍ෂ මහතා බටහිරයන්ගේ ඊනියා ජාත්‍යන්තර යුද්ධාධිකරණ දංගෙඩියට දැක්‌කවීමය. බටහිරයෝ සරත් ෆොන්සේකා කරන ඒ පාවාදීමට ජනාධිපතිකම ලබාදීමට කටයුතු කළහ. එහිදී එ. ජා. පක්‍ෂය හා ජ වි පෙ. වින්නඹුකම කෙළේය. බටහිරයන්ට අවශ්‍ය වූයේ ඔවුන්ට අවනත නොවූ ඔවුන් ඉදිරියේ දණ නොනමා තම රට ජාතිය රැකගත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ජීවිතක්‍ෂයට පත්කිරීමත් ඒ සමග ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ද ඒ ඉරණම අත්කර දීමත්ය. බටහිරයන් තමන්ට විරුද්ධ, තමන්ට අවනත නොවන ආසියාප්‍රිකානු රාජ්‍ය නායකයන්ට යහතින් ජීවත්වීමට ඉඩ නොදෙති. ඔවුන්ගේ ඒ අරමුණ ඉටුකර ගැනීමට සරත් ෆොන්සේකා යොදා ගැනීම ඔවුන්ගේ අවශ්‍යතාව විය. එහෙත් බටහිරයන්ගේ සියලු උපක්‍රම ව්‍යර්ථ කිරීමට අප සියලු දෙනාට හැකිවිය.

බටහිරයෝද ඔවුන්ගේ ගැති එජා පාක්‍ෂිකයෝ ද ජවි පෙරමුණු පුස්‌සෝ ද දහසක්‌ පඬියෝද ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකා දිනන තුරු කට ඇරගෙන බලා සිටිsයහ. ලංකාව යනු කොළඹ යෑයි සිතන මේ මුග්ධයෝ කොළඹ හා ඒ අවට මධ්‍යම පාංතිකයන්ගේ මතය මෙරට ජනමතය යෑයි සිතූහ. ජනාධිපතිවරණය පැවැත් වූ දින ට්‍රාන්ස්‌ ඒෂියා හෝටලයේ රඟ දැක්‌වූ නාටකයේ පසුබිමෙහි වූයේ මේ අපේක්‍ෂාවය. එහෙත් ඔවුන් බලාපොරොත්තු නොවූවක්‌ම සිදු විය. මහින්ද රාජපක්‍ෂ මහතා අතිවිශාල ඡන්ද සංඛ්‍යාවකින් ජයග්‍රහණය කළේය. ජනතාව ඉතා පැහැදිලි තීන්දුවක්‌ දී තිබිණි. බටහිරයන්ට එ ජා පක්‍ෂයට ජ වි පෙරමුණට හා දහසක්‌ පඬියන්ට ප්‍රශ්නයක්‌ වුවද "යුද්ධයේ වීරයා" කවුදැයි යන්න පිළිබඳව ජනතාවට ප්‍රශ්නයක්‌ වී නොතිබිණි. බටහිරයන්ට සිදු වූයේ වලිගය කකුල් දෙක අස්‌සේ ගසාගෙන ආපසු යැමටය. එහෙත් ඔවුහු තවමත් එ. ජා. ප, ජ. වි. පෙ පඬියන් හා පල්ලි නිකායේ භික්‍ෂුන් වහන්සේ ඔස්‌සේ තම අපේක්‍ෂාවන් යම් පමණකින්වත් ඉටුකර ගැනීමට වෙහෙසෙති. අප අමතක නොකළ යුතු කරුණක්‌ වෙයි. සරත් ෆොන්සේකාගේ සටන හුදු ආණ්‌ඩු විරෝධී සටනක්‌ නොවේ. ඒ රාජ්‍ය විරෝධී සටනකි. ඔහු බටහිරයන්ගේ ආධාරයෙන් එ. ජා. ප හා ජ. වි. පෙ. ඔස්‌සේ රාජ්‍යයට අභියෝග කරයි. රාජ්‍ය නායකයා පාවා දෙමින් රාජ්‍යය පාවා දෙයි.

Prof. Nalin De Silva
10 10 Divayina.

No comments:

Post a Comment