FREE TO COMMENT HERE. ANY ONE CAN COMMENT ANY THING GOOD OR BAD. NO RESTRICTIONS - U CAN COMMENT AS ANONYMOUS USER.

නිදහසේ අවුරුදු සිරි විඳ ගන්නට දරුවන්ට අවස්ථාව උදාකර දෙමු - ජනාධිපති මහින්ද රාජපක්ෂ

අලුත් අවුරුදු පණිවුඩ

නිදහසේ අවුරුදු සිරි විඳ ගන්නට දරුවන්ට අවස්ථාව උදාකර දෙමු : ජනාධිපති මහින්ද රාජපක්ෂ

අලුත් අවුරුදු අසිරියේ සැබෑම හිමිකරුවන් වන දරුවන්ට නිදහසේ අවුරුදු සිරි විඳ ගැනීමටත් අවුරුදු නැකත් චාරිත්‍ර සමඟ එක්වීමටත් අවස්ථාව උදා කළ යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. දරුවන්ගේ සතුට ආරක්ෂා කරදීම සඳහා මතින් ඈත්ව අවුරුදු සමරන ලෙස ඉල්ලා සිටින ජනාධිපතිවරයා එය මේ අලුත් අවුරුද්ද වෙනුවෙන් දරුවන්ටත් සමාජයටත් දිය හැකි හොඳම තෑග්ග බවත් ප්‍රකාශ කරයි. ජනාධිපතිවරයා මේ අදහස් පළ කරන්නේ එළැඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සිය සුබ පැතුම් එක් කරමිනි.

ජනාධිපතිවරයාගේ පණිවිඩයේ වැඩිදුරටත් මෙසේ ද දැක්වේ.

සිංහල දෙමළ අලුත් අවුරුද්ද පුරාතනයේ සිට ශ්‍රී ලංකාද්වීපයේ අතිබහුතර ජනතාවක් පවත්වාගෙන ආ මහා සංස්කෘතික මංගල්‍යයයි. මිහිකතට ශක්තිය දෙන සූර්යයාගේ ක්‍රියාකාරීත්වය හා බැඳුණු මහා මංගල්‍යයයි. එය ශ්‍රී ලාංකික කෘෂිකාර්මික නිෂ්පාදන ආර්ථිකයේ මහා ජය කාහල නාදය ද වෙයි. අප මේ අලුත් අවුරුද්ද පිළිගන්නේ කෘෂිකර්මාන්තයේ සේම සෑම අංශයකම නිෂ්පාදනය ද සංවර්ධනය ද ඇති කරමින් පවත්නා වූ අවධියක ය. එසේම නිදහස සැපිරූ රටක ය. එබැවින් සම්ප්‍රදායිකව ජනතාව තුළ ඇතිවන නැවුම් හැඟීම් සේම ප්‍රබෝධය ද වඩාත් වර්ධනය වන බව මාගේ විශ්වාසයයි.

මේ සංස්කෘතික මංගල්‍යය වසර දහස් ගණනක් තිස්සේ පැවැත්වීම නිසා එය වඩාත් සුනම්‍ය, අසිරිමත් සහ අර්ථවත් මංගල්‍යයක් ලෙස අද පවතී. අප මේ දායාදය තවත් අර්ථවත් කොට අනාගතයට බාරදිය හැක්කේ ඒ කෙරෙහි අපේ දූ දරුවන් යොමු කිරීමෙනි. එසේ ම මේ අලුත් අවුරුදු සමයේ ද රාජකාරිය වෙනුවෙන් කැප වූ ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ සහ සිවිල් ආරක්ෂක බළකායේ සාමාජිකයින්ව ද රාජ්‍ය සේම පෞද්ගලික අංශයේ සියලු දෙනාව ද අප කෘතඥතා පූර්වකව සිහිපත් කළ යුතු ය. ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා ! යි මම ප්‍රාර්ථනා කරමි.

ළය පුරා නිදහස් හුස්මක් මුවපුරා නිදහස් හසරැල්ලක් අගමැති දි. මු. ජයරත්න

කඳුළින් පිරි අතීතයේ හිස මතට සතුට නැමැති කිරුළ පැලැන්ද වූ නව වසරක් උදා වී ඇති බව අගමැති දි. මු. ජයරත්න මහතා නිකුත් කළ අළුත් අවුරුදු පණිවිඩයේ සඳහන් වේ. ළය පුරා නිදහස් හුස්මකුත් සහ මුවපුරා නිදහස් හසරැල්ලක් රැගෙන සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට පැමිණෙන මේ ස්වර්ණමය මංගල්‍යය වෙනුවෙන් රටේ සියලුම ජනතාවට සුබ අලුත් අවුරුද්දක් වේවා යි හෙතෙම සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි.

උතුරු කොනේ සිට දකුණුලක දක්වා සෑම නිවසකම එකම නැකතට එකම මොහොතක එකට ගිනි දැල්වීම ඇතුළු චාරිත්‍ර රැසක් එකට කරන තවත් ජාතියක් නොමැති බවද හෙතෙම ප්‍රකාශ කරයි.තවද එම නිවේදනයේ තවදුරටත් මෙසේ ද සඳහන් වේ. සූර්ය මංගල්‍යය හෙවත්, මේ සිංහල හා හින්දු අලුත් අවුරුදු උදාව දුරාතීතයේ සිටම ලක්වැසියනට කියාදී ඇති පාඩම් බොහෝය. උතුරු කොනේ සිට, දකුණු ලක දක්වා වන සෑම නිවහනකම එකම නැකතකට, එකම මොහොතක එකට ගිනි දල්වන, එකට කිරි ඉතිරෙන, එකට වැඩ අල්ලන මෙවන් අනගිභවනීය සිරිතක් වෙනත් කිසිදු රටකට හෝ ලෝකයේ කිසිදු ජාතියකට නොමැති බව අප තරයේ සිහිතබා ගත යුතුය.

එදා ප්‍රභාකරන් විසින් උණ්ඩයෙන් යටපත් කර දැමූ ඒ ඥාතිත්වය, බන්ධු මිත්‍රාදී හැඟීම් දැන් යළිත් දළුදමා මල් පුබුදන්නට සූදානම් ය. පාර්වතීලාත්, විනෝදනීලාත් තල්වැට පැන නෑගම් එති. දකුණ ඔවුන් පිළිගත යුත්තේ ආදරයත්, සහජීවනයත්,, දයාගුණයත් එක්තැන් කළ වර්ණවත් හැඟුමිනි. මේ අලුත් පිබිදීම, මේ අලුත් බැඳීම, මේ අලුත් සතුට අප භුක්ති විඳින්නේ ශ්‍රී ලංකා මාතාවට නොපිරිහෙලා තම යුතුකම් කොටස ඉටුකළ එක්තරා දේශමාමක පුත්‍රරත්නයක් නිසාය. හේ, මහින්ද රාජපක්ෂ නම්, නම් ලද්දේ ය.

සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර් ආදී සියලු ශ්‍රී ලංකාවාසී දුවා දරුවන්ගේ හදවත් තුළ ලොකුම අයිතිකාරයා එතුමා බව අප මේ මොහොතේත් ස්තුතිපූර්වකව සිහිපත් කළ යුතුය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් නොවන්නට කිසිඳු ලිපක්, නැකතට දැල්වෙන්නේ නැත. කිරිබතක් තබා කුසගින්නට බතක් පිසගන්නට කිසිවෙකුටත් නිදහසක් නැත. උතුරටත්, දකුණටත් සුබ අලුත් අවුරුද්දක් වේවා! යි මුවපුරා කියමු. වෙන් වෙන් වශයෙන් අපගේ පුද්ගල අභිමතාර්ථ මෙන්ම, රටක් වශයෙන් ඉදිරි සංවර්ධන ඉලක්ක සපුරා දැහැමි සමාජයක් නිර්මාණය කරවීමට අවශ්‍ය ශක්තිය, දිරිය ලැබේවා! යි ප්‍රාර්ථනා කරමු. ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!

No comments:

Post a Comment