FREE TO COMMENT HERE. ANY ONE CAN COMMENT ANY THING GOOD OR BAD. NO RESTRICTIONS - U CAN COMMENT AS ANONYMOUS USER.

ජනතාව නිවැරදි තීන්දුව ගෙන අවසානයි

බස්නාහිර පළාත් ආණ්ඩුකාර - අලෙවි මවුලානා

බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා වන අලෙවි මවුලානා මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැරැණිතම සාමාජිකයෙකි. ඔහු එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතා සමඟ සමකාලීන දේශපාලන භූමිකාවේ කි‍්‍රයාකාරී දේශපාලනයක නිරත විය. සමස්ත ලංකා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලයේ කැඳවුම්කරු වන මවුලානා මහතා 1994 බලයට පත්වූ පොදු පෙරමුණු රජය යටතේ ප‍්‍රබල ඇමැති ධූර කීපයක් ද දැරුවේය.

රජය ගෙන යන මානුෂීය මෙහෙයුම අවසානය අත ළඟයි. යුද්ධය අවසානයේ රට නැවත ගොඩනැඟිය යුත්තේ කෙසේ ද?

රජය යුද්ධය කරගෙන යන අතරතුරේදී පවා විශාල සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කැර තිබෙනවා. ‘මහින්ද චින්තනය’ යටතේ ආරම්භ කළ සංවර්ධන වැඩපිළිවෙළ නිසා තමයි ලෝක ආර්ථිකය බිඳ වැටෙන අවස්ථාවක දිත් අපේ පුංචි රටට හිස ඔසවගෙන ඉන්න පුළුවන් වුණේ.

අපේ රටේ මිනිස්සු බඩගින්නේ හිටියේ නැහැ. ආහාර හිඟයක් ඇතිවුණේ නැහැ. යුද්ධයක් පවතින අවස්ථාවක වුණත් සංවර්ධනය අඩාල වී නැහැ.

යුද්ධයට යන අසීමාන්තික වියදම නතර වී ගිය වහාම රට ශීඝ‍්‍ර සංවර්ධනයක් කරා යෑමේ මූලික පියවර මේ වනවිටත් රජය ගෙන තිබෙනවා.

ඔබ කම්කරු නායකයෙක් හැටියට කම්කරුවන්ගේ අයිතිවාසිකම් නිසි ලෙස ඔවුන්ට ලැබී තිබෙනවා කියලා හිතනවද?

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් අනතුරුව කිහිපවිටක් කම්කරුවන්ගේ අයිතීන් පිළිබඳ කම්කරු නායකයන් සමඟ සාකච්ඡා කළා. කම්කරු වැටුප් වැඩිකළා.

දේශපාලන පළිගැනීම්වලට ලක්වූ කම්කරුවන් පිළිබඳවත් ඔවුන්ගේ වෘත්තීය අයිතීන් පිළිබඳවත් නිරන්තරයෙන් සොයා බලා කටයුතු කළා.

රැකියා අහිමි වූ කම්කරුවන් නැවත සේවයේ පිහිටුවීම් විශාල වශයෙන් සිදුකර තිබෙනවා.

කම්කරු නායකයෙක් හැටියට ජනාධිපතිතුමා නිරන්තරයෙන් කම්කරු ගැටලු පිළිබඳ අවධානය යොමුකර තිබෙනවා. එ.ජා.පක්ෂ රජය යටතේ කප්පාදු කළ කම්කරු අයිතීන් යළි ලබාදීමට මේ රජය කැපවී කටයුතු කරනවා. 2001 වර්ෂයේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයේ කම්කරුවන්ගේ වැටුප් රුපියලකින් වත් වැඩි කළේ නැහැ. උසස්වීමක් ලබාදුන්නේ නැහැ. විශ‍්‍රාම වැටුප ඉවත් කිරීමේ සැලසුමක් තිබුණා.

අද වනවිට කම්කරු අයිතීන් සුරක්ෂිත වී තිබෙනවා. ඒ පිළිබඳ කම්කරු නායකයෙක් හැටියට මම රජයට ස්තුති වන්ත වෙනවා.

සමානුපාතික ඡන්ද ක‍්‍රමයෙන් සැබෑ ජනතා නියෝජනයක් සිදුවෙනවද?

මම පැහැදිලිවම කියනවා සැබෑ ජනතා නියෝජනයක් සිදුවෙන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සමයේ ඇති කළ මේ ඡන්ද ක‍්‍රමයෙන් නියම ඡන්දදායකයා සහ අපේක්ෂකයා අතර සමීපභාවය දුරස්ථ වුණා.

මනාප අමනාප තත්ත්වයට පත්වෙනවා. මම විශ්වාස කරනවා, මේ ඡන්ද ක‍්‍රමය වෙනස් විය යුතුයි කියලා. අපේ රටට ගැලපෙන ඡන්ද ක‍්‍රමයක් ඇති කළ යුතුයි.

එක්සත් ජාතික පක්ෂය ප‍්‍රකාශ කරනවා සුළු ජාතීන්ගේ ඡන්ද හිමිවෙන්නේ ඔවුන්ට කියලා. මේ පිළිබඳ අදහස

මමත් සුළු ජාතිකයෙක්. මම එක්සත් ජාතික පක්ෂයට අභියෝග කරනවා. ඒ අය අපි වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ. කිසිදු දෙයක් කරලා නැහැ. එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මහත්තයගේ කාලේ ඉඳලා සුළු ජාතීන්ගේ අයිතීන් වෙනුවෙන් ඉදිරිපත් වුණා. මුස්ලිම්, දෙමළ පාසල් බිහිකළා.

සෑම ක්‍ෂේත‍්‍රයකම මුස්ලිම් දෙමළ නියෝජන ඇතිකර තිබෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව පිහිටුවීමෙන් අනතුරුව සුළු ජාතීන් වෙනුවෙන්, ඒ අයගේ අයිතීන් වෙනුවෙන් නිරන්තරයෙන් ඉදිරිපත් වුණා.

සුළු ජාතීන්ගේ ඡන්දය එක්සත් ජාතික පක්ෂයට ලබාදෙන්න කිසිදු හේතුවක් නැහැ. එක්සත් ජාතික පක්ෂයට කියන්න දෙයක් නැතිව කියන කතා. අතීතයේ ඉඳලා සුළු ජාතීන් බහුතරයක් හිටියේ එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ.

පළාත් සභාවේ මුස්ලිම් ජනතා නියෝජනය ප‍්‍රමාණවත් කියා ඔබ සිතනවාද? වයඹ, මධ්‍යම, පළාත් සභා දෙස බැලීමේදී මුස්ලිම් නියෝජිතයන් තේරී පත්වී සිටින සංඛ්‍යාව කොහෙත්ම ප‍්‍රමාණවත් නැහැ නේද?

පසුගිය වයඹ, මධ්‍යම පළාත් මැතිවරණවල මුස්ලිම් ජනතා නියෝජනය ප‍්‍රමාණවත් නැහැ. නමුත් බස්නාහිර පළාතේ ප‍්‍රමාණවත් මහජන නියෝජනයක් සිදුවේ යැයි මා විශ්වාස කරනවා.

රජය තුනෙන් දෙකේ බලය පළාත් සභාව මගින් ලබා ගෙන තිබෙනවා. 1978 ව්‍යවස්ථා සංශෝධනය කළ ආකාරයට ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමේ හැකියාව රජයට ලැබී තියනවා.

රජයේ ස්ථාවර භාවය තහවුරු වී තිබෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඇතුළු රජයට පළාත් සභාව, මහ මැතිවරණය ජනාධිපති මැතිවරණය කිසිදු තරගයකින් තොර ජයග‍්‍රහණය කිරීමේ හැකියාව තිබෙනවා.

1978 ව්‍යවස්ථාවේ යම් යම් සංශෝධන සිදු විය යුතුයි. විවිධ තැන් වෙනස් විය යුතු ය.

ඒකීය රටක් ලෙස, ශ‍්‍රී ලාංකිකයන් ලෙස ජාති ආගම් භේදයකින් තොරව ජීවත්වීමේ හැකියාවයි තිබිය යුතු වන්නේ.

ප‍්‍රබල එක්සත් ජාතික පාක්ෂිකයන් බහුතරයක් මේ වනවිට සන්ධාන රජය සමඟ එකතු වී තිබෙනවා. මේ වනවිට විපක්ෂය දුර්වල තත්ත්වයකට පත් වී තිබෙන බවයි ජනතාව පවසන්නේ මේ තත්ත්වයට හේතුව කුමක්ද?

ප‍්‍රධාන ම හේතුව පක්ෂ අභ්‍යන්තරයේ තිබෙන අර්බුදකාරී තත්ත්වය. විපක්ෂය බිඳ වැටීමට හේතුව ලෙස මම දකින්නේ එයයි.

නායකත්වය සම්බන්ධයෙන් නිරන්තර මත ගැටුම් පක්ෂ අභ්‍යන්තරයේ ඇති වී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ පවතින ගැටුම් නිසා ඒ අය පිල් බෙදිලා.

මේ තත්ත්වය උඩ කොහොමද ප‍්‍රබල විපක්ෂයක් ගොඩනගන්නේ. විපක්ෂය දුර්වලවීම රටකට දේශපාලන වශයෙන් බලපානවා. එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුම් නිරාකරණය කරගන්න බැරිව කොහොමද රටේ පවතින ගැටලුවලට දේශපාලන විසඳුම් සොයන්නේ.

විපක්ෂය කියන්නේ ප‍්‍රතිපක්ෂයට. ඒ අයට රටක ලොකු වගකීමක් පැවැරී තියෙනවා. ආත්මාර්ථකාමී පරමාර්ථ මුදුන් පමුණුවා ගන්න ඒ අය එකිනෙකා ඇන කොටා ගැනීමක් මිස රටක් ගැන සිතීමක් නැහැ.

බස්නාහිර පළාත් සභාවට මහ ඇමැතිධූර අපේක්ෂකත්වයත් පත්කර නැහැ. මේ තත්ත්වය නිසා පක්ෂ අභ්‍යන්තරයේ ම අපේක්ෂකයන් මනාප පොරයකට එකතු වෙලා කියලා විපක්ෂයෙන් චෝදනාවක් තියනවා.

මේ පිළිබඳ ජනාධිපතිතුමා පැහැදිලිවම ප‍්‍රකාශ කරලා තියනවා. ඕනෑම කෙනෙකුට අයිතිය තියනවා සුදුසුකම් සපුරා තියනවා නම් ඡන්දය ඉල්ලන්න. නමුත් නියම සුදුස්සා තෝරා පත් කර ගන්නේ ජනතාව. ජනතාව තෝරා පත්කර ගන්න සුදුසු අපේක්ෂකයන්ගෙන් වඩාත් සුදුස්සා මහ ඇමැති ධූරයට ජනාධිපතිතුමා පත් කරාවි.

පළාත් සභා එකින් එක විසුරුවා හැරීමෙන් රජයේ බලය ස්ථාවර කරගන්න උත්සාහ කරන බවත් එමගින් නියමාකාර ජනමතයක් ගොඩනැගෙන්නේ නැති බවත් විපක්ෂය චෝදනා කරනවා. මේ සම්බන්ධව ඔබේ අදහස.

රජය පැහැදිලිවම ස්ථාවරයි. ඕනෑම මැතිවරණයක් විජයග‍්‍රහණය කිරීමේ හැකියාවක් රජයට තියෙනවා.

අපට විපක්ෂයෙන් හෝ කිසිදු පක්ෂයකින් අභියෝගයක් නැහැ. මේ රටේ යුද්ධයක් තියනවා. දැනට පවතින ආරක්ෂක තත්ත්වය ගැන මූලිකව අවධානය යොමු කරලයි පළාත් සභා මේ ආකාරයට වෙන වෙනම විසුරුවා හැරීමට කටයුතු කළේය.

මේ වනවිටත් රජය තුනෙන් දෙකක බලයක් පෙන්නුම් කර අවසානයි.

විපක්ෂයට පැහැදිලිව ම පිළිතුරක් දිය යුතුයි. බලය පෙන්වන්න අවශ්‍ය නැහැ. ජනතාව නිවැරැදි තීන්දුව අරගෙන අවසානයි.

සාකච්ඡා කළේ
සුභද්‍රා දේශප‍්‍රිය

No comments:

Post a Comment