FREE TO COMMENT HERE. ANY ONE CAN COMMENT ANY THING GOOD OR BAD. NO RESTRICTIONS - U CAN COMMENT AS ANONYMOUS USER.

විජයග්‍රහණයේ දෙවන සංවත්සරයට එජනිස පණිවිඩය

මහලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේම් ජයන්ත

ජාත්‍යන්තර න්‍යායපත්‍රවලට කොටු නො වී මෙරට ජනතා අවශ්‍යතා මත රට ගොඩනැගීමට සමස්ත ජනතාව ම එක්විය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ඛනිජ ‍තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් ප්‍රේම් ජයන්ත මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ත්‍රස්තවාදයට ගොදුරු වූ රටක් ඉන් මුදා ගැනීම ඉතා ම අසීරු කාර්යයක් සේ ම මුදාගත් රටක් වෙත පැමිණෙන කුමන්ත්‍රණකාරී බලවේගයන් ගෙන් මිදී එම රට තුළ සාමය හා සංවර්ධනය ස්ථාපිත කිරීමද ඉතා ම අසීරු කටයුත්තකි.

වීරෝධාර රණ විරුවන් ලේ කඳුළු හෙළා දුක් සුසුම් මැද වසර 30ක ත්‍රස්තවාදයට ලක් වූ ශ්‍රී ලංකාද්වීපය මුදාගෙන පළමු අසීරු කාර්ය ජයගෙන අවසන්ය. ඒ සමඟ ම දෙවන අසීරු කාර්යයට මුහුණ දීමට සිදු වී තිබේ.

වසර දෙකයි මාස 9ක කාලයක් තුළ ආරම්භ කළ මානුෂික මෙහෙයුම තුළින් වසර 30ක ත්‍රස්තවාදයඅවසන් වීම නිසා අද වැඩියෙන් ම සතුටු වන්නේ උතුරු නැඟෙනහිර ජනතාවයි. ත්‍රස්තවාදි ග්‍රහණයට ලක්වූ උතුරු නැගෙනහිර ප්‍රදේශවල එදා තිබූ තත්ත්වයත් අද තිබෙන තත්ත්වයත් දෙස විමසිලිමත්වීමෙන් මානූෂීය විජයග්‍රහණය කොතෙක් දැයි මොනවට පැහැදිලි වේ.

මේ වනවිට උතුරු නැගෙනහිර ප්‍රදේශයේ යළි පදිංචි කිරීමේ කටයුතු 95% ක් අවසන් කොට, එම ජනතාවගේ මූලික අවශ්‍යතා සියල්ල සපුරා යහපත් ජනජීවිතයක් ඔවුන්ට ලබාදීමට හැකිවීම මානුෂීය විජයග්‍රහණයේ දෙවන සංවත්සරය සමරණ මේ අවස්ථාවේ දී ඉමහත් සතුටට කරුණකි.

ත්‍රස්තවාදය නිසා අහිමි ව ගිය සිය සියලු භෞතික වස්තූන් උතුරු නැඟෙනහිර ප්‍රමුඛ සමස්ත ජනතාව වෙත නැවත ලබා දීම රජයේ ප්‍රථම කාර්යභාරය කොට ගෙන සිටී. එවැනි අවස්ථාවක මෙරට සංස්කෘතිය අවශ්‍යතා, භූගෝලීය පිහිටීම, ඉතිහාසය ආදිය පිළිබඳ ව කිසිත් නොදන්නා ජාත්‍යන්තරයේ ඇතමුන් ශ්‍රී ලංකාවට අනවශ්‍ය මැදිහත්වීම් කරමින් සිටී.

රටේ ව්‍යවස්ථාව කුමක්ද? එය සංශෝධනය විය යුත්තේ කෙසේද? බලතල බෙදිය යුත්තේ කෙසේද? ආදි වූ කාරණා අපගේ ජනතාව තීරණය කළ යුතු ඒවා මිස කුමන රටකට හෝ ජාත්‍යන්තරයකට තීන්දු කිරීමට හැකියාවක් නැත.

ජාත්‍යන්තර න්‍යාය පත්‍රවලට කොටු නො වී මෙරට ජනතා අවශ්‍යතා මත රට ගොඩනැගීමට සමස්ත ජනතාව ම එක්විය යුතුයි. එසේ ම සාමය සෞභාග්‍ය ස්ථාපිත රටක් නිර්මාණය කිරීමට රණ විරුවන් ඇතුළු සමස්තය කළ කැපවීම් සඳහා හෘදයාංගම ප්‍රණාමය මානුෂීය විජයග්‍රහණයේ දෙවන සංවත්සරය දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලු ම පක්ෂ සමස්ත ජනතාව වෙත පුදකර සිටිමු.

No comments:

Post a Comment