නව වසරක් උදා වෙන මේ මොහොතේ අප අනාගතය දෙස බලන්නේ අධිෂ්ඨානය, දැඩි කැපවීම හා සුභ බලාපොරොත්තු රාශියක් පිළිබඳ නැවුම් හැඟීම් සමඟය. එබඳු සුබවාදී ප්‍රාර්ථනා ඇති කර ගැනීමට අවශ්‍ය නිදහසත්, සාමයත් අප මාතෘ භූමියේ මේ වන විටත් ගොඩනගා ගැනීමට හැකිවීම අප ලද විශාල ජයග්‍රහණයකි.
ඉදිරියේ අප වෙත ඇත්තේ අප රට ලෝකයේ ඉහළට ඔසවා තැබීමේ දැවැන්ත අභියෝගය යි. පංච මහා කේන්ද්‍රයන් පෙරටු කොටගත් සංවර්ධන ඉලක්කයන් වෙත යෝධ පියවර රාශියක් තබන වසරක් ලෙස මේ නව වසර අපි හඳුන්වමු. එසේ ම විජයග්‍රහණය ලැබීම සඳහා පසුගිය පස් වසරේ දී අප කළ කැප කිරීම් මේ වසරේ දී දෙගුණ තෙගුණ කළ යුතු බව මම විශ්වාස කරමි.
එමඟින් දශක තුනකටත් වඩා වැඩි කාලයක් පුරා ශ්‍රී ලාංකික ජන ජීවිතයට අහිමි ව ගිය දේ යළි ඉක්මනින් ලබා දීම අප අරමුණ වේ. සැමට එක ලෙස ආර්ථික ප්‍රතිලාභ හිමිකර දී රටේ ජන ජීවිතය සමෘද්ධිමත් කිරීමට ලැබෙන සෑම අවස්ථාවක් ම ප්‍රයෝජනයට ගැනීම මේ වසරේ අප ප්‍රාර්ථනාව ය.
මතෘ භූමිය එක්සේසත් කිරීමේ දී මෙන්ම රට සංවර්ධනය කිරීමේ දී වැදගත් ම සාධකය වන්නේ ජාතික සමගිය යි. එබැවින් සියලු විරසකකම් අමතක කොට එක් ව නැගි සිටිය යුතු කාලය එළඹ තිබේ. සහජීවනය අහිමි කිරීමෙන් ජනතාවත්, රටත් පෙරළිමට පෙළ ගැසී සිටින සියලු කුමන්ත්‍රණ පරාජය වන්නේ එවිට ය.
අපි දැඩි අධිෂ්ඨානයෙන් හා ඉවසීමෙන් කටයුතු කොට රටේ ජනතාව තුළ දැඩු අනෝන්‍ය අවබෝධයක් හා රට ගොඩනැගීම පිළිබඳ විශ්වාසයක් ගොඩනැගුවෙමු. වඩ වඩාත් එය තහවුරු කිරීම නව වසරේ අප ප්‍රාර්ථනා අතරට එක් කළ යුතුයි. එසේ ක්‍රියාකරමින් ලැබුවා වු නව වසර ජාතියේ විජයග්‍රාහී වසරක් බවට පත් කිරීමට සැමට ශක්තිය ධෛර්යය ලැබේවා යි මම ප්‍රාර්ථනා කරමි.
No comments:
Post a Comment